Monday 30 July 2018

ඩයිනෝසර් සුනඛයෙක්







ගැහැනු සතෙකු වන මේ පැටියා අයත් වන්නේ ඇමෙරිකන් මොලොසස්  සුනඛ වර්ගයටය.වයස මාස 9කි. බර රාත්තල් 180 කි. උස අඩි 6 කි. මේ යුප‍්‍රටීස්ගේ මිල ඩොලර් 5000 කි.  ඌ නෑකම් කියන්නේ මීට වසර 7000කට පෙර විසූ දැන් වඳ වී ගොස් ඇති මෙසපොටේමියන් මොලසස් කියන වර්ගයටය. 
මේ වර්ගයට අයත් පැරණි සුනඛ වර්ගය දැන් දැක ගත හැක්කේ කෞතුකාගාරවලය. පැරණි විස්තරවලට අනුව මේ සුනඛයන් පැරණි මෙසෙපොටේමියාවේ යුද සටන්වලට යොදවා ගෙන ඇත.  
රෝමන්වරු ගී‍්‍රසිය ආක‍්‍රමණය කරන විට මෙම සුනඛයාගේ ආදීමයා වූ මෙසෙපොටේමියානු මොලසස් යෙදා ගෙන තිබේ යුද කටයුතුවලට වගේ ම පොරපිටිවල සතුරන් හා සටන් කරන්න යොදවා තිබේ. උන්ට ඇණ හා පිහිතල ඇල්ලූ සන්නාහ අන්දවා යුද පෙරමුණට යවා ඇත. මේ යුප‍්‍රටීස් දුටු විට හොර හතුරො වෙවුලා යයි. තම ස්වාමියාට ඉතා හිතවත් මේ සුරතලාට  මේ වයසෙදි වුනත් ඕනෑම දැවැන්තයකු සමග වුවද තම ස්වාමියා වෙනුවෙන් සටන් කරන්නට පුළුවන්ය.

මිනිසාගේ මේ ස්වාභාවික ආරක්ෂකයා බැලූ බැල්මට බලූ පැටියෙක් කියලා කියන්න බැරි  තරම්ම දැවැන්ත වීම විශේෂත්වයකි.

Monday 9 July 2018

රැකගමු මල් කැකුළු









ළමයා යන්න අප සාමාන්‍යය ජීවිතයේ දී යොදාගනු ලබන්නේ නිශ්චිත අර්ථයකින් නොවන්නට පුළුවන. එහෙත් නීතීයට අනුව ළමයා යනු වයස අවුරුදු දහ අටකට අඩු පුද්ගලයින්ය. වයස අවුරුදු අටකට අඩු වන දරුවකු සමාජීය වශයෙන් අර්ථ දැක්වෙන්නේ බාල වයස්කරුවකු ලෙසටය. එනම් දෙමාපියන් හෝ භාරකරුවකුගේ රැකවරණය හා මඟ පෙන්වීම යටතේ ජීවත් විය යුත්තකු ලෙසය. වයස අවුරුදු අටට අඩු දරුවකු පිළිබඳව නීතිය පිළිගන්නේ නොදරුවකු වශයෙනි. ලොව එක් කලෙක සිතා සිටියේ ළමයා යනු, වැඩිහිටියකුගේ කුඩා අනුරූපයක් ලෙසිනි. නමුත් සිග්මන් ෆ්‍රොයිඞ් විසින් නූතන මනෝ විද්‍යාව සොයාගැනීමත් සමඟ ළමයා යන්න නව අර්ථ දැක්වීනට භාජනව විය. ඒ අනුව ළමයා යනු ළමයෙකු මිස වැඩිහිටියෙකුගේ කුඩා අනුරූපයක් නොවේ යන්න අදහසක් මතුවිය. මේ අනුව පසු කාලීනව ළමයා පිළිබඳව විවිධ අධ්‍යයනයන් සිදු කෙරිණි. එහිදී එක් අවස්ථාවකදී ළමයෙකුගේ සංවර්ධන අවධීන් පහක් දක්වා ඇති අතර එහි වැදගත්කම නම් ඒ ඒ අවධීන්හි දී ළමයාගේ මනස වර්ධනය වීම ක‍්‍රමාණුකූලව සිදුවීමයි. මේ සඳහා පරිසරයෙන් ලැබෙන බලපෑම අති විශාලය. රූපවාහිනිය අයත් වන්නේ ද එම පරිසරයටම ය. ඒ අනුව රූපවාහිනිය මගින් ලැබෙන අයහපත් බලපෑම් ළමයින්ගේ මනසට හානිකර වේ. එම අවධීන්ට අනුව ළමයා එක් එක් වයස් කාණ්ඩවල දී හැසිරෙන ආකාරය, ඉගෙන ගන්නා ආකාරය, සිතුවිලි ක‍්‍රියා කරන ආකාරය හා සමාජානුයෝජනය වන ආකාරය වෙනස් බව හඳුනාගත හැකිය. ළමයා විසින් භාෂාව හා සිරිත් විරිත් ඉගෙන ගන්නේ ළමා වියේ මුල් කාලයේ සිටය. එහිදී ඉගෙනීම ප‍්‍රමුඛතාවයක් ගනී. ළමයින් බොහෝමයක් දෑ ඉගෙන ගනු ලබන්නේ තම වටපිටාවේ පවතින පරිසරයෙනි. සාමාන්‍යයෙන් ළමයාගේ පරිසරයට අයත් වන මූලික ම ස්ථානය වන්නේ තම ගෘහයයි. ඒ අනුව ගෘහය තුළ වසන්නන් මෙන්ම ගෘහය තුළ පවතින මෙවලම් ද ළමයාගේ ඉගෙනීම කෙරෙහි බලපායී. එහිදී වඩාත් බලවත් ගෘහස්ථ උපකරණයක් ලෙස රූපවාහිනිය හඳුනාගත හැකිය. දෙමාපියන්, මිතුරන් හා නෑදෑයන් ආදීන් සමඟ සැසදීමේ දී රූපවාහිනියට ළමයා පිළිබඳ පවතිනුයේ වගකීමෙන් තොර වූ අසීමාන්තික බලයකි. ළමා වයසේ දී රූපවාහිනිය සම්බන්ධයෙන් පරිස්සම් විය යුත්තේ මේ නිසාවෙනි.


රූපවාහිය ළමයාගේ ජීවිතය කෙරෙහි අධ්‍යාත්මික හා භෞතික වශයෙන් හැ`ගීම්,ආකල්ප,හැසිරීම් ආදී වශයෙන් පලපෑම් කරයි. සාමාන්‍යයෙන් ලොව දරුවෝ දිනකට පැය දෙකක් තුනත් අතර කාලයක් රූපවාහිනිය ඉදිරියේ ගත කරති. අවම වශයෙන් සතියකට පැය 25  පමණ රූපවාහිණිය සම`ග ළමයින් ගැවසෙන බව හ`දුනාගෙන තිබේ. ළමයාගේ ආකර්ශනීයම මාධ්‍යය රූප මාධ්‍යය වේ. ළමා සිතතමා අසන දකින දේ වැරැද්දකින් නිවැරැද්දකින් තොරව තම සිත තුළට ඇතුළු කර ගනී. විශේෂයෙන් ශ‍්‍රව්‍ය දේට වඩා දෘශ්‍ය දේ ඔවුන්ගේ පෙළඹීම තීව‍්‍ර කරයි.ඒ අනුව රුපවාහිනියේ දකිනා සියළු දේ සත්‍යය යැයි ඔවුන්ගේ හැ`ගීමයි.
වර්තමාන රූපවාහිනී වෙළ`ද දැන්වීම් නිදර්ශනයට ගනිමින් ඒවා ළමා මනයට කරන බලපෑම් පිළිබ`දව මෙහිදී සාකච්ඡුාවට බ`දුන් වේ. රූපවාහිනී සහ ළමා මනසට කරන බලපෑම් අනිටු ප‍්‍රතිඵල ඇති කරයි. එතුළින් විනාශ වන්නේ එම රටෙහි අනාගතයයි. එම නිසා රූපවාහිනී වෙළ`ද දැන්වීම් නිර්මාණයේ දී මෙන් ම විකාශනයේදී ඒ ස`දහා වගකිව යුතු පුද්ගලයින් හා ආයතන පැහැදිලි දැක්මකින් කටයුතු කළ යුතුය.

සිත්තරෙකු වත






ලොකු කංකානම්ගේ තෝමස් පීරිස් මංජු ශී‍්‍ර නම් වු මොහු 1902.10.28 දින අලූත්ගම දී උපත ලැබීය. අයහපත් සෞඛ්‍යය තත්ත්වය හා ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් වයස අවුරුදු 10 දී පාසලින් සමුගනී.

පසුව ඔහුගේ පියා ඔහුව වඩු මඩුවක සේවයට යොමුකරවීය. වඩු මඩුවෙහි ද වැඩි කලක් සේවය නොකළ මොහු කවි කොළ විකිණීමේ රැකියාවක් සොයා ගත්තේ ය.අලූත්ගම සිට බේරුවලටක් බේරුවල සිට අලූත්ගමටත් මහ හයියෙන් කවි කියමින් ඔහු ඇවිද්දේ ය. පසුව එම රැකියාව ද හැර දමා ඔහු කඩයක වැඩට ගියේ ය. කඬේ වැඩ කරන අතරතුර දුටු දසුනකින් ඔහුගේ ගමන් මඟ වෙනස් විය.

 ඔහු එදා දුටුවේ බේරුවල දුම්රිපළෙන් බැස සංවරව වඩින භික්ෂූන් වහන්සේලා කිහිපනමකි. පසුව නිවසට ගිය ඔහු හාමුදුරුනමක් සේ හැසිරෙන්නට විය. දින කිහිපයක් තිස්සේ දුටු මෙම දසුන නිසා ඔහුගේ ඔහුගේ පියා, මංගල පිරිවෙනේ අමරවංශ හිමියන්ට දරුවා බාර කළේ ය.

 13 වන වියේදී භදන්ත සීලවංශ නමින් පැවිදි බිමට ඇතුළත්  වෙයි.  පසුව උන්වහන්සේ බේරුවල මංගල පිරිවනෙන් සිංහල, පාලී, සංස්කෘත, අභිධර්මය, යන්ත‍්‍ර මන්ත‍්‍ර, අත් වෙදකම් ආදී ශිල්ප රැසක් ප‍්‍රගුණ කරන්නට ඇත. කලකදී ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන්, වල්පොල රාහුල හිමියන්, කලල් ඇල්ලේ ආනන්ද සාගර හිමි ඇසුරු කරන්නට සීලවංශ හිමියන්ට මඟ පෑදුණි. නිදහස් අදහස් සිතට ආවේ මෙම කාලයේ දීය. ජපන් හා චීන භාෂා ද ප‍්‍රගුණ කළ සීලවංශ හිමියෝ 1922 දී ඉන්දියාවට වැඩි සේක. ඒ අතර නේපාලය, ටිබෙටය ආදී රටවලත් සංචාරය කරමින් මහායානයත්, චිත‍්‍ර කලාවත් හැදැරීය. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයෙන් හා නන්දලාල් බෝස්ගෙන් චිත‍්‍ර කලාව තව දුරටත් ප‍්‍රගුණ කළේ ය.

 1934 දී යළි ලංකාවට පැමිණ 1936 දී යළිත් උන්වහන්සේ ඉන්දියාවට වැඩම කළහ. එවර ඉන්දියාවට ගියේ තමන් අඳින ලද චිත‍්‍ර කිහිපයක් ද රැගෙන ය. ඒවා දුටු රවීන්ද්‍රනාත් තාගෝර් මහතා තමන්ගේ චිත‍්‍ර සමඟ ශාන්ති නිකේතනයේ ප‍්‍රදර්ශනය කළේ ය. ප‍්‍රාණ පූර්ණ රේඛා චිත‍්‍ර කලාව පිළිබඳ තවදුරටත් හදාරා 1938 දී සීලවංශ හිමියන් යළි ලංකාවට වැඩම කළේ ය. ඉන් පසුව උනවහන්සේ පැරණි විහාරවල සිතුවම් පිටපත් කිරීම සිදු කළේ ය.

ටේ‍්‍රසින් පේපර්, පින්සල්, සායම් ඔලෝගුව කදමා ගනිමින් ඇවිද ගිය උන්වහන්සේ දෙස බොහෝ දෙනා බැලූවේ කුතුහලයෙනි. මේ දෙවැනි ලෝක සංග‍්‍රාමය පැවති කාලය යි. ඔත්තු බලන ජපන් ජාතික හිමි නමක් යැයි සැක කළ යුරෝපා නිලධාරීහු උන්වහන්සේව අත් අඩංගුවට ගත්හ. එහෙත් නොසැලූණු උන්වහන්සේ පිටපත් කළ සිතුවම් පුවත්පත් හරහා පල කළහ. යුරෝපා නිලධාරීන්ගේ ආරාධනයන් හේතුවෙන් වියානා, ඇමරිකාවේ වොෂින්ටන්, නිව්යෝර්ක් ආදී නගරවලත් චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වීමට උන්වහන්සේට අවස්ථාව උදා විය.

භදන්ත සීලවංශ හිමියන් උපසම්පදාවෙන් පසු ඥානින්දු හිමි බවට පත් වූ අතර 1947 ජාත්‍යන්තර ප‍්‍රදර්ශනවලින් පසු උපැදි විය. එතැන් සිට එල්. ටී. පී. මංජු ශ‍්‍රී නම් විය. මංජු ශ‍්‍රී ගේ චිත‍්‍ර කලාව තවත් දියුණු වූ අතර වයස 51 දී විවාහයක් ගැන ද සිතීය. ඔහු විවාහ වූයේ අම්බලංගොඩ දළුවත්ත හේවගේ මංගලා ද සිල්වා සමගිනි. ලොකු කංකානම්ගේ තෝමස් පීරිස් මංජු ශී‍්‍ර අනතුරුව ලේක් හවුස් ආයතනයට සම්බන්ධ විය. 1956 සිට 1968 දක්වා චිත‍්‍ර අඳීමත් ගවේෂණාත්මක ලිපි සම්පාදනය කළේය. සිළුමිණ හා ඔබ්සර්වර් පුවත්පත්වලට ලිපි සැපයී ය. 1982 ජූලී 16 දා ඔහු අභාවප‍්‍රාප්ත වූයේ උගුරේ ඇති වූ පිළිකා තත්ත්වයකිනි.

කලාවට සිදු වූ සේවය

පසුගිය සියවස් දෙක තුළ දිවයින පුරා ඉදිකර තිබූ විහාරාරාම අලංකාර කළ බිතු සිතුවම් ආරක්ෂා කර ගැනීම සඳහා ඒවා අධ්‍යනය කරමින් පිටපත් කිරිමේ සුවිසල් මෙහෙවරක යෙදුණු ශිල්පීන් අතර ලොකු කංකානම්ගේ තෝමස් පීරිස් මංජු ශී සිත්තරා ප‍්‍රධානත්වයක් හිමිකර ගනී. පැරණි ලෙන් විහාරවල මුල් සිතුවම් විනාශ වන අයුරු දැක එහි සැබෑ ස්වරූපය ආරක්ෂා කර දීමට වසර ගණන් මුළුල්ලේ අට්ටාල මත හිඳගෙන අනේක විඳ දුක් කම්කටොලූ මැද ඒ වෙනුවෙන් තම මුළු දිවියම කැප කරමින් අනඟි මෙහෙවරක යෙදුණු ඔහු සැබෑම දේශපේ‍්‍රමියෙකි. එය වඩාත් වැදගත් වන්නේ ඒ පිළිබඳ කිසිඳු සැළකිල්ලක් නොදැක්වුණු අධිරාජ්‍යවාදී යටත් විජිත යුගයේ මේ කාර්යයට අවතීර්ණ වීමයි. එමෙන් ම එක් අතකින් පහනක් අල්ලාගෙන අනෙක් අතින් සිතුවම් පිටපත් කිරීම තුළින් ඒ සඳහා අවම පහසුකම්වත් නොමැතිවිට ඊට දක්වන ලද කැපවීම විදහා දක්වන්නකි.

1. සියම, කාම්බෝජය, තායිවානය, පිලිපීනය, ආදී රටවල විහාර චිත‍්‍ර නීරීක්ෂණය කොට පුවත්පත් වලට ලිපි සැපයීම.

2. 1937 සිට බොරැල්ල ගෝතමී විහාරයේ බිත්තිවල සැරසිලි මෝස්තර අඳිමින් මොහු ජෝර්ජ් කිට් හට සහය විය.

3. තොටගමුව තෙල්වත්ත විහාරයේ සහ දීපදුත්තාරාමයේ බිතු සිතුවම් රැුක ගත හැකි වූයේ මොහුගේ පරිශ‍්‍රමය නිසාය.

4. රංගිරි දඹුලූ විහාරයේ චිත‍්‍ර පිටපත් කිරීම.

5. මුලකිරිගල රජමහා විහාරයේ චිත‍්‍ර පිටපත් කිරීම.

6. දෙගල්දොරුව විහාරයේ චිත‍්‍ර පිටපත් කිරීම.

7. අම්බලංගොඩ සුනන්දාරාමයේ චිත‍්‍ර පිටපත් කිරීම.

8. ශ‍්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිතුවම් අඳින ලදී.

9. 1956 සිට 1968 දක්වා සිළුමිණ හා ඔබ්සර්වර් පුවත් පත් වලට ගවේෂණාත්මක ලිපි සැපයීය.

10. හොඳම චිත‍්‍රය අම්බලංගොඩ ශාන්ති දේවාලයේ කලා භවනේ ප‍්‍රදර්ශනයට  තබා ඇත.

11. දිය සායම් මාධ්‍යයෙන් කළ හොඳම චිත‍්‍රය පූස් පැටවා නම් චිත‍්‍රයයි.

නිර්මාණයන්ගේ ඇගයීම්

1. නිව්යොර්ක් නුවර මහජන පුස්තකාලයේ පැරණි ලියවිලි භාරව කටයුතු කළ කාර්ල් කූප් මහතා ආසියාවේ කලා ශිල්පීන් සොයා ආවේ ය. එහිදී තෝරා ගැනුනේ ජෝර්ජ් කිට්ගේ හා සීලවංශ හිමියන්ගේ චිත‍්‍රයි. සීලවංශ හිමියන්ගේ තාරා දෙවඟන නම් චිත‍්‍රය පළිඟු කර්මාන්තය සඳහා තෝරාගෙන තිබුණි. 1956 වොෂින්ටන් නුවර ජාතික කලා භවනේ දී පළිඟු කැටයම් ප‍්‍රදර්ශනය කළ අතර ”තාරා දෙවඟන” චිත‍්‍රය ලෝ පුරා ප‍්‍රචලිත විය. තව තවත් චිත‍්‍ර ප‍්‍රදර්ශනවලට ඇරයුම් ලැබුණි. 


2. 1979 දී පිලිපීන රජයෙන් රැවෝන් මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලැබීය. ඩොලර් විසි දහසක් හා රන් පවුමක් ද ත්‍යාග ලෙස හිමිවිය.


3. ”ලංකා බිතු සිතුවම්” නම් ඔහුගේ පිටපත් කළ සිතුවම් පොතට රාජ්‍ය සම්මාන ලැබුණි. 


4. 1982 දී පේරාදෙණිය ශ‍්‍රී ලංකා විශ්ව විද්‍යාලය සාහිත්‍යය සම්මානයෙන් ද පුදනු ලැබීය.







Friday 22 June 2018

තවත් උපතක්



භාෂාව කාලයෙන් කාලයට වෙනස් වේ. නව මාධ්‍ය භාවිතයත් සමඟ ඇරඹි අළුත්ම රූප භාෂාව වන්නේ ඉමෝජිය. ඉමෝජි යන වචනය ජපන් භාෂාවෙන් පින්තූර අකුරු සඳහා භාවිතා කරයි. අප එදිනෙදා E-Mai,l SMS, MMS පණිවුඩ යවන විටත් සමාජ ජාල වෙබ් අඩවි වන Face book, Twitter වැනි වෙබ් අඩවි හරහා පණිවිඩ හුවමාරු කර ගැනීමේදීත් භාවිත කරන කුඩා  Icons විශේෂයකි. එනම් ඉමෝජි යනු හැගීම් ප‍්‍රකාශ කිරීම සඳහා යොදාගනු ලබන රූප විශේෂයකි. එමගින් කාලය, අවස්ථා, ස්ථාන පමණක් ම නොව දුක, සතුට, ආදරය, කේන්තිය, කම්මැලිකම ජුගුප්සාව යනාදී හැගීම් ද ඉතා සරලව පෙන්වීමට ඇඳී රූප සමුදායකි.

ඉමෝජී මුලින්ම භාවිතා කරන ලද්දේ ජපානයේ සන්නිවේදන සේවා සපයන ආයතනය විසිනි. ඒ ඉක්මනින් හා පහසුවෙන් පණිවිඩ Icons යැවිය හැකි ක‍්‍රමයක් වශයෙනි. ජපානයෙන් ඔබ්බට ඉමෝජී ප‍්‍රචලිත වූූයේ 2011 දී ඇපල් IOS5 මෙහෙයුම් පද්ධතිය සමග ඉමෝජී යතුරුපුවරුවක් ලබාදීමත් සමගය.

ඉමෝජී යන්න සෑදී ඇත්තේ  ඉ - රූපය  මෝජී - අක්ෂරය යන ආකාරයෙනි. ඉන් පෙර සිටම කෝලන් සහ වරහන් (:* භාවිතයෙන් කෙටි පණිවිඩ සමඟ හැඟීම් ප‍්‍රකාශන ප‍්‍රචලිතව තිබූ නමුත් එය තනි තනි පරිගණක අක්ෂර වශයෙන් බිහිවීමට හේතු වූයේ ජපානයේ බිහිවෙමින් පැවති දුරකතන මෙහෙයුම් පද්ධතියත් සමඟයි.










ඉමෝජී වල පියා ලෙස හැඳින්වෙන ශිගෙතකා කුරිතා වර්ෂ 1999 දී පමණ දුරකතන සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දීම අරමුණු කරගත් i-mode නම් දුරකතන අන්තර්ජාල වේදිකා ව්‍යාපෘතියේ කටයුතු කළ අතර එකල තිබූ දුරකතනවල වර්තමානයේ මෙන් අවශ්‍යය තරම් අකුරු ලිවිය හැකි අවකාශයක් නොතිබිණි. තනි වර්ණයෙන් පමණක් තිබුණු ඒවායෙහි උපරිම වශයෙන් ඉඩ තිබුණේ අකුරු 48 කට පමණි. මෙම හේතුවෙන් ශිගෙතකා කුරිතා කල්පනා කර ඇත්තේ් ඒවා කියවීමටත් අපහසු නිසාවෙන් ඒ වෙනුවට රූපවාහිනියේ කාලගුණ වාර්තාවේ මෙන් වැසි දිනයන්හි දී කළු වළාකුළක් සහ හිරු රශ්මිය ඇති දිනවලදී සූර්යයාගේ චිත‍්‍රයක් ආදී වශයෙන් රූපමය සංකේත භාවිතා කළ හැකිනම් එය ඉතා පහසුවක් ගෙනදෙනු ඇති බවයි. එය i-mode වෙත යෝජනා කිරීමෙන් පසු ස්ථීර වූ අතර කුරිතා මෙම ඉමෝජී නිපැයීම සඳහා අදහසක් ගන්නට නගරයේ සැරිසරමිමින් ජනතාව ඔවුන්ගේ අදහස් හැඟීම් ප‍්‍රකාශ කරන ආකාරය පිළිබඳව අධ්‍යයනයක් සිදු කොට ඇත. ඉන් අනතුරුව මසක් ඇතුළත ඔහු ප‍්‍රථම ඉමෝජී 180 නිර්මාණය කොට ලොවට පිළිගැන්වීය. ඒවා පික්සල 12×12 ප‍්‍රමාණයේ ඒවාය.






ඉමෝජී ප‍්‍රථමයෙන් භාවිතා වූයේ NTT DoCoMO, au සහ පෙර Vodafone ලෙස හැඳින්වුණු SoftBank Mobile ජපන් දුරකතන සමාගම් වලයි. ඔවුන් ඒවායේ ඔවුන්ටම ආවේණික හිමිකාරී සම්මතයන් දැරීය. NTT DoCoMO සමාගමේ i-mode හරහා ඉමෝජී සන්නිවේදනය වූයේ 2 Bite අනුක‍්‍රයක් ආකාරයට වන අතර au සමාගම HTML  කේතකරණයේ එන IMG යන ඡුායාරූප Tag භාවිත කලේය. පසු කාලීනව ගෝලීය භාවිතය සඳහා යුනිකේත හරහා ඉමෝජී අඩංගු කරගනු ලබමින් සම්මතයකට ගෙන එනලදී.

ඉමොජී  Icons යුනිකෝඞ් ප‍්‍රමයට ප‍්‍රමිතිගත කර ඇති නිසා වෙනත් උපාංග තුළද නිවැරදිව ම පරිවර්තනය වී පෙන්වයි. වර්තමානයේ යුනිකෝඞ් 6.0 ප‍්‍රමිතිය යටතේ ඉමෝජී 722 ක් පමණ ප‍්‍රමිතිගත කර තිබේ. ඒ තුළ නූතන රූපාක්ෂර විශාල ප‍්‍රමාණයක් තිබේ.මෙම සෑම අයිකනයක් ම යම් අදහසක් ප‍්‍රබලව ප‍්‍රකාශ කරන්නකි.

චීනයේ හා ජපානයේ වර්තමානයේ ද චිත‍්‍රාක්ෂර භාවිතා වේ.චීන භාෂාවේ වචන 42000 පමණ තිබේ. ලිවීම සඳහා වචන වෙනුවට අක්ෂර 42000 ක් ඉගෙනගත යුතුය. සාමාන්‍ය භාවිතය සඳහා වචන 3000 ත් 4000 අතර ප‍්‍රමාණයක් භාවිතා වේ. ඉමෝජී යනු මෙවැනි වූ රූපාක්ෂර ක‍්‍රමවේදයකි. චීනය විශාල රටක් හේතුවෙන් උප භාෂා විශාල ප‍්‍රමාණයක් පවතී. එම උප භාෂා අතර එකිනෙකට භාෂා තේරුම්ගත නොහැකි අන්දමේ ප‍්‍රබල වෙනස්කම් පවතී. එහෙත් ලිවීමේදී හෝ මුද්‍රණයේදී මුළු චීනයේම භාවිතා වන්නේ පොදු චිත‍්‍රාක්ෂර ක‍්‍රමයකි. ප‍්‍රාදේශීය උප භාෂාවන් දෙකක් කතා කරන චීන ජාතිකයන් දෙදෙනෙකු හමු වූ විට කතාවෙන් අදහස් හුවමාරු කරගත නොහැක. නමුත් ඔවුන්ගේ චිත‍්‍රාක්ෂර ක‍්‍රමය භාවිත කිරීමෙන් එම දුෂ්කරතාව මඟ හරවාගත හැකිය.

එලෙසම ඉමෝජී යනු ලෝකයටම පොදු වූ රූප භාෂාවකී. එය තේරුම් ගැනීම ද ඉතාමත් පහසුය. එහෙයින් ලෝකයේ විවිධ භාෂාවන්ට අයත් මිනිසාට, පොදු භාෂාවක් ලෙස ඉමෝජී භාවිතා කළ හැකිය.


වර්තමානය වන විට ඉමෝජී භාවිතය වේගයෙන් වැඩිවෙමින් පවතී. Windows 8, Windows 8.1, Windows 10 නව මෙහෙයුම් පද්ධති සමග ද ඉමෝජී යතුරුපුවරුවක් එක්කර තිබේ. ඉමෝජී පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන Emoji pedia අඩවිය දක්වන්නේ අන්තර්ජාලය තුළ භාෂාව භාවිතයට වඩා ඉමෝජී Icons තුළින් අඅදහස් හුවමාරු කර ගන්නා බවයි.

ඉමෝජී අදහස් හුවමාරු කර ගැනීම සඳහා පමණක් නොව එදිනෙදා වැඩකටයුතු පහසුවෙන්, සුරක්ෂිතව ඉටු කරගැනීම සඳහා ද භාවිතා කළ හැකිය. බි‍්‍රතාන්‍යයේ  Intelligen environment සමාගම විසින් බැංකු කටයුතු සඳහා ඉමෝජී භාවිත කළ හැකි ක‍්‍රමයක් ඉදිරිපත් කර ඇත. එනම් මුදල් ලබා ගැනීමේ දී භාවිතා කරන ඉලක්කම් හතරේ පින් කෝඞ් ක‍්‍රමය වෙනුවට ඉක්මනින් මතකයේ රැකෙන ආරක්ෂිත ක‍්‍රමවේදයක් වන ඉමෝජී භාවිතා කිරීමය.
තාක්ෂණයේ දියුණුවත් සමගින් මිනිසුන් තම අදහස් ප‍්‍රකාශනයටද එම තාක්ෂණය යොදා ගත් අවස්ථාවක් ලෙසින් ඉමෝජී හඳුනාගත හැකිය.

Thursday 21 June 2018

භාෂාවේ ප‍්‍රභවය


භාෂාවේ ප‍්‍රභවය පිළිබඳව වාග් විද්‍යාඥයින්, දාර්ශනිකයින්, ආගමික කර්තෘවරුන් හා පූජකවරුන් මෙන් ම බලවත් රජවරු ද විවිධ මතවාදයන් ඉදිරිපත් කර තිබේ. ක‍්‍රි. පූ. 7 වෙනි සියවසේ ඊජීප්තුවේ විසූ සැම්මේටිකොස් නම් රජු ලෝකයේ පැරණිම ජනතාවත්, පැණිම භාෂාවත් සෙවීම පිණිස පර්යේෂණ පැවැත්වූ ආකාරය හෙරඩෝටස් විසින් දක්වයි. එමෙන් ම දෙවන ෆෙඞ්රික් අධිරාජ්‍යයා ද, හතරවැනි ජේම්ස් රජු ද, ඉන්දියාවේ මහා අක්බාර් රජු ද, භාෂාවේ ප‍්‍රභවය සෙවීමට උත්සහා කළ බව සඳහන් වේ. භාෂාවේ ප‍්‍රභවය පිළිබඳව ගී‍්‍රක දාර්ශනිකයින් හා චින්තකයන් වූ ඇරිස්ටෝටල්, ප්ලේටෝ එපිකියුරියස් ආදීන් මතවාද ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව දාහත්වන සහ දහ අටවන සියවස් වල වාග් විද්‍යාඥයින් හා වත්මන් ශාස්ත‍්‍රාඥයින් ද මේ පිළිබඳව අධ්‍යයනයන් සිදු කරන ආකාරය හඳුනාගත හැකිය.

ඒ අනුව භාෂාවේ ප‍්‍රභවය පිළිබඳව ඉදිරිපත්ව ඇති මත සියල්ල ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
1. නිර්මාණවාදී මත
2. පරිණාමවාදී මත
ආගමික මතවාදයන්ට අනුව භාෂාව දෙවියන් වහන්සේගේ නිර්මාණයකි. ක‍්‍රිස්තු ධර්මයට අනුව දෙවියන් වහන්සේ ලෝකය මවා එහි ¥විල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුට ජීව වායුව පිඹ කතාකරන්නට සැලැස්වූ ආකාරය සඳහන් වේ.

”උන්වහන්සේ මැවූ ජීව අජීව වස්තූන් මිනිසාට පෙන්වා ඒවා නම් කරන ලෙසට ඔහුට අණ කළහ. මිනිසා තමා කැමති වචන යොදා ඒවා හැඳින්වීය. එදා මිනිසා විසින් ප‍්‍රකාශ කරන ලද වචන ඒ ඒ ද්‍රව්‍ය වල හා සත්ව වර්ගයාගේ නම් වශයෙන් සම්මත විය.”
                                 - ශුද්ධවූ බයිබලය - 

හින්දු භක්තිකයන්ට අනුව ලෝකයා සහ එහි ඇති දෑ මවන ලද්දේ මහා බ‍්‍රහ්මයා විසිනි. සංස්කෘත භාෂාව දෛවී භාෂාව හෙවත් දේව භාෂාව ලෙස ව්‍යවහාර කෙරෙන්නේ එහෙයිනි. මෙවැනි මතවාද හැම ආගමකම පාහේ දක්නට ලැබේ.
භාෂාව එකවර හදිසියේ නිර්මාණය කරන ලද්දක් නොව එය ක‍්‍රමයෙන් මනුෂ්‍යයාගේ පරිණාමයත් සමඟ ඇති වූවක් බව පරිණාමවාදී මත ඉදිරිපත් කරන්නන් දක්වයි. මැක්ස් මුලර් පඬිවරයා ඒවා ප‍්‍රධාන මත හතරක් යටතේ ඉදිරිපත් කරයි.
1. බව් බව් න්‍යාය
2. ඩිං ඩොං න්‍යාය
3. පුහ් පුහ් න්‍යාය
4. යේ හෝ හෝ න්‍යාය
ලෙසිනි.

කෙසේ නමුත් ශබ්දය යනු භාෂාවේ බාහිර අංගයක් පමණි. භාෂාවේ ප‍්‍රභවය උදෙසා පළමුව සිදුවිය යුත්තේ අදහස් නිපදවීමයි. ඉන් පසු අදහස් ප‍්‍රකාශ කිරීමට ක‍්‍රමවේදයක් තිබිය යුතුය.
මිනිසා තුළ ඇති වූ හැඟීම් හෝ අදහස් එකතුකර සම්පූර්ණ අදහසක් ප‍්‍රකාශ කිරීමේ ශක්තිය යම් දිනෙක මිනිසාට ලැබුනේ ද , එදින භාෂාවේ ප‍්‍රභවය සිදු විය.

එය මානව පරිණාමයත් සමඟ සිදු වූවකි. නෘත, නෘත්‍ය හා නාට්‍ය යන විවිධ අංගයන් ගොඩනගා ගනිමින් සිදු වූ මානව පරිණාමනයේ සුවිශේෂ කඩයිමක් ලෙස නියෙන්ඩතාල් මානව අවධිය දැක්විය හැකිය. ඔවුන්ගේ අතින් රූප භාෂාව බිහි විය. ඔවුන් එදිනෙදා ජීවිතයේ දී සතුන් සමඟ ඇතිකරගත් සටන්, දඩයම් ආදිය සත්ත්ව රුධිරයෙන් ම සටහන් කර තැබීමට ඔවුන් උත්සහා දැරීය. ඉන්පසු ඔවුන් එය යම්කිසි අදහසක් ප‍්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන්නට විය. මුල් අවධියේ මෙම රූප, රේඛා සටහන් පමණක් ම විය. දිඹුලාගල, තන්තිරිමලේ, ගොනාගොල්ල ආදී ලෙන් චිත‍්‍ර ඒවාට නිදසුන් සපයයි. මෙහි වර්ධනීය අවස්ථාවක් ලෙස ප‍්‍රංශයේ ලැස්කෝ සහ ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහා චිත‍්‍ර දැක්විය හැකිය. ස්පාඤ්ඤයේ ඇල්ටාමීරා ගුහාවේ දක්නට ලැබෙන කකුල් අටක් සහිත බයිසන් ගවයාගේ රූපය සජීවී රූප නිර්මාණයට ගත් උත්සාහයක් ලෙස  හඳුනාගත හැකිය. මෙම රූප භාෂාව ක‍්‍රමික විකාශනයට ලක්ව දියුණු භාෂාවක් හා අක්ෂර ගොඩනැගෙන්නට ඇත. 
මෙලෙස ගලේ, මඬේ, ගස් පොත්තේ, මැටියේ හෝ සම්වල රූප සටහන් ඇඳීමට මිනිසා පුරුදුව සිටියේ අනාදිමත් කාලයක සිටය. ඇඳීම, පාට කිරීම, කටු සටහන් ගැසීම හා කෙටීම වැනි ක‍්‍රමෝපායන් මෙහිදී භාවිතා කෙරුණි. 
උතුරු ඇමෙරිකාවේ රතු ඉන්දියානු ගෝත‍්‍රිකයින් කතාන්දර කීමට හා සිද්ධි විස්තර කිරීමට ගස්වල පොතු මත කෙටූ රූපසටහන් භාවිත කළ බවට සාධක තිබේ. වත්මන් දියුණු රටවල් කතාන්දර කීම සඳහා විකට චිත‍්‍ර අඳින්නා සේ ඔවුන් කතාන්දර දැක්වීම සඳහා බීච් ගසේ පොතුවල කෙටූ චිත‍්‍ර මාලා භාවිතා කරයි. එමෙන් ම වර්තමානයේ ගෝත‍්‍රික රතු ඉන්දියානුවන් භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා චිත‍්‍ර භාවිතා කරයි. එයට හොඳම උදාහරණයක් ලෙස තුවක්කුවක් සහ පතොරම් කරල් දහයක් වෙනුවට මී හරක් හම් පහක් දීමට කැමති බව කඩදාසියක හෝ බිම අඳින ලද කොටුවක එක් කෙළවරක තුවක්කුවක් සහ පතොරම් කරල් ද අනෙක් පස මී හරකෙකුගේ රූප සටහනක් හා ඉරි කැබලි පහක් ද ඇඳ ඒ මැඳ හරස් අතට ඉරි දෙකක් ලකුණු කිරීම දැක්විය හැකිය. මෙය කදිම රූප භාෂාවකී. ආදී මිනිසා සම්පූර්ණ සිද්ධියක් විස්තර කිරීමට හෝ අදහස් රැුසක් දැක්වීමට සම්පූර්ණ චිත‍්‍ර හෝ චිත‍්‍ර මාලාවක් ඇන්දා සේම තනි අදහසක් දැක්වීමට තනි තනි චිත‍්‍ර ඇඳි බව පෙනේ. මිනිසෙක් යන අදහස දීම සඳහා මිනිසාගේ රූප සටහනක් ද, ගස  යන රූප සටහන දීම සඳහා ගසක රූප සටහනක් අඳින්නා සේම විවිධ වස්තූන් දැක්වීම සඳහා එහි රූප සටහනක් ඇඳ ඇත. මිනිසා ඇවිදී යන අදහස දැක්වීම සඳහා දෙපා මාරු කිරීම දක්වන රූප සටහනක් ඇදීය.




  • හොඳ යන වචනය දැක්වීම සඳහා ස්ත‍්‍රියකගේ හා ළමයෙකුගේ රූප දෙකක් එකට ඇඳ තිබේ.
  • දුක යන වචනය දැක්වීම සඳහා ඇසක් හා එයට පහළින් කඳුළු බිංදු දැක්වෙන තිත් පෙළක් ඇඳ තිබේ.
  • පැරණි මිසරවරුන් ලක්ෂය හා ඊට වැඩි සංඛ්‍යාවක් දැක්වීම සඳහා යෙදුවේ ඉස්ගෙඩියෙකුගේ රූපයකි. ඉස්ගෙඩියන් එකවර ලක්ෂ ගණනක් බෝවන නිසා එම රූපය යොදා ගෙන ඇත.  

මේ ආකාරයෙන් අදහස් ප‍්‍රකාශනයෙහි ලා එකල මිනිසුන් විවිධාකාර ක‍්‍රම අනුගමනය කර තිබෙන ආකාරය හඳුනාගත හැකිය. 
   

Saturday 9 June 2018

විමලනාත් වීරරත්න හා මාධ්‍ය නිදහස





මහරගම ඇරව්වල උපත ලද ඔහු නමින් විමලනාත් වීරරත්න වේ. අවුරුදු 19 කාලයක් රාවය පුවත්පත සමඟ සුහදව කටයුතු කළ මෙතුමන් ඉන් පසුව තම සේවය සපයනු ලැබුවේ ඉරුදින පුවත්පතටයි. 2015 වර්ෂයේ සැප්තැම්බර් මස සිට ඉරුදින පුවත්පතෙහි වැඩ ඇරඹි වීරරත්න මහතාට 2017.02.28 වන දින ඉරුදින පුවත්පතින් සමුගන්නට වූයේ ඉතාමත් අවාසනාවන්ත ආකාරයෙනි. නොසිතූ මොහොතක තමා සේවයෙන් ඉවත් කිරිම හා තම ETF,EPF මුදල් ද තමන්ට නිසි පරිදි නොලැබුණු බව පවසමින් මෙතුමන් කම්කරු උසාවිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඉරුදින පුවත්පතට එරෙහිව නඩු ගොනු කොට ඇත. යම් සේවකයෙකු සේවයෙන් ඉවත් කිරීමේදි මසකට පමණ පෙරාතුව සිට ඔහුට ඒ පිළිබඳ දැන්වීමක් කළ යුතු වේ. කිසිදු කරුණක් සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමකින් හෝ යම් විමර්ශනයක් හෝ සිදු නොකොට හදිසියේ මෙසේ ප‍්‍රධාන කතෘවරයා ඉවත් කිරීම නීතී විරෝධි මෙන්ම අයුක්ති සහගත ය. මෙම සිදුවීමේදී විමලනාත් වීරරත්නයන් කාර්යාලයට කැඳවා පසු දින සිට ඔහුගේ සේවය අනවශ්‍යය බැව් ප‍්‍රකාශ කොට ඇත. ඔහු ඇතුළු තවත්  කතෘ මණ්ඩල සේවකයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ දුන් අතර ඔවුන් සියලූ දෙනා කම්කරු උසාවිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.
වීරරත්නයන්  මෙම සිදුවීමට බල පෑ හේතු සාධකයන් පිළිබඳ මෙසේ අදහස් ඉදිරිපත් කළේය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තිබූ වැරදි අඩුපාඩුකම් හේතුවෙන් එම ආණ්ඩුව පරාජය කොට යහපාලන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට තමන් පෑන අවියක් කොට ගත්තේය. එහිදී ප‍්‍රතිඵලයක් ලෙස  යහපාලන ආණ්ඩුව බලයට පත් විය. නමුත් ක‍්‍රමයෙන් කල් වෙත්ම යහපාලනය රාජපක්ෂ ආණ්ඩුවට දෙවැනි නොවන්නට ඇත. බලයට පත් වීමට පෙර ඔවුන්,

1. පසුගිය ආණ්ඩුවේ වංචා දුෂණ හෙළි කිරීමටත්
2. සිදු වූ මිනිස් ඝාතන පිළිබඳ විමර්ෂණය කිරීමටත්
3. සමාජය ප‍්‍රජාතන්තී‍්‍රකරණය කිරීමටත්
4. විගනන පණත ගෙන ඒමත්

පොරොන්දු විය. ඒ සඳහා විශාල වැඩ කොටසක් කළ හැක්කේ රටේ ආණුක‍්‍රම ව්‍යවස්ථාවටය. නමුත් කල් යත්ම මෙකී කරුණු කාරණා විධිමත් ආකාරයකින් සිදුවන ආකාරයක් නොපෙනිණි. එයට විරුද්ධ වෙමින් ආණඩුක‍්‍රම ව්‍යවස්ථාව යථාර්ථයක් කරන ලෙසට පවසමින් වීරරත්නයන් ඇතුළු කතෘ මණ්ඩලය ලිපි ලියන්නට විය. විශේෂයෙන් ම පසුගිය ආණ්ඩුවේ මෙන් ම මෙම ආණ්ඩුව තුළ ද වංචා දුෂණ සිදු කරන්නා වූ මැති ඇමතිවරුන් පිළිබඳ තතු හෙළිකරන්නට විය. මෙම තත්ත්වයන් හේතුකොටගෙන  අවස්ථා කිහිපයකදි ම ඉරුදින පුවත්පතේ කළමණාකාරීත්වය විසින් විමලනාත් මහතාට අවවාද කරන්නට විය.
විශේෂයෙන් ම,

සිදු වූ වංචා දුෂණ කැලේ පනින විට ඒවා තහවුරු කිරීමට තර්කාණුකූල කරුණු ඉදිරිපත් කිරීම
ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු විගනන පණත මඟ හැරීමේදී ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීම
තාජුඞීන් ඝාතනය
එක්නැළිගොඩ ඇතුළු මාධ්‍යවේදීන්ගේ අතුරුදහන් වීම් හා ඝාතන පිළිබඳ පරීක්ෂණ සිදුවන ආකාරයත් එක් එක් පුද්ගලයින් ඊට මැදිහත් වන ආකාරයත් පිළිබඳ ප‍්‍රශ්න කිරීම

යනාදී කරුණු පිළිබඳව ලිපි සැපයීම හේතුකොට ගෙන වීරරත්න මහතාට ඉරුදින පුවත්පතින් සමුගැනීමට සිදු විය.

කෙසේ  නමුත් මෙකී කරුණු මුල් කරගනිමින් විමලනාත් වීරරත්න මහතා කම්කරු උසාවිය තුළ නඩුගොනු කොට ඇති අතර තවමත් එම නඩු තීන්දුව ලැබී නොමැත. වීරරත්න මහතා මෙහිදී පවසන්නේ තමන්ට අවශ්‍යය වන්දි මුදල් නොව නැවත සේවයෙහි පිහිටුවීම බවය. ඒසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් සමගින් සෙවයෙන් ඉවත් වූ අනෙක් කතෘ මණ්ඩල සේවකයින් 06 දෙනාටද ආධාරණත්වය ඉටු කරන මෙන් ඔහු ඉල්ලා සිටී.

වීරරත්න මහතාගේ අදහසට අනුව මාධ්‍ය නිදහස අහිමි වීමට හේතුවන කරුණු දෙකකි.

1. හිමිකාරිත්වයකට යටත්ව කි‍්‍රයාත්මක වීම

පුවත්පතෙහි හිමිකාරීත්වය දරනු ලබන පාර්ශවය විසින් තමන්නේ  ඕනෑ එපාකම් සපුරා ගැනීමේ අරමුණින් යුතුව පුවත්පතේ නිදහසට සීමා පණවනු ලබයි.


2. ජනමාධ්‍යවේදීන්ට පවතින නිදහස ඔවුන්ටම නොවැටහීම

තමන්ට පවතින්නා වූ නිදහස් කලාපය කෙතරම් දුකරකට ව්‍යාප්තව පවතිතනේ ද යන්න ජනමාධ්‍යවේදීන්ට ම නොවැටහීම කණගාටුවට කරුණකි. එසේ ම තමන්ගේ නිදහස තවත් පුද්ගලයෙකු පැමිණ සාදා නොදෙන බැවින් තමන්ගේ නිදහස තමාම සාදාගත යුතුය. දයාසේන ගුණසිංහයන් පවසන්නේ, ජනමාධ්‍යවේදියා හරකෙකු නම් තමන්ගේ කරේ ලනුවක් ගැට ගසා ඇත්නම් ඒ ලනුව කණුව වටේ තමන් විසින් ම පටලවා ගනිමින් අනේ මට දුරට යන්න නිදහසක් නෑ කියන්නේ නම් එය හරකාගේ වැරැුද්ද බවය.




Thursday 7 June 2018

සඳ රැස් වෑහෙන...........


සඳ රැස්  වෑහෙන පොල් අතු වහලින්
දිය රූරන්නට වහින්නෙපා.......
පන් කොළ පැදුරේ මවගේ තුරුලේ
පුතු කිිරි සිනාව මැකෙන්නෙපා.........


සඳ රැස්  වෑහෙන...........


රිදුම් ලන දෙපා පැලට වඩින කල
රිදුම් කොයි ගියාවේ......
කුසේ ගින්නද කොයිද නොදනී
මා සිඟිති පුතු සිනාවේ......


සඳ රැස්  වෑහෙන......


දෑතේ කරගැට පුතුගේ හිස මත
ඔටුනු පළන්දන්නයි.......
නළලේ දහදිය පුතුගේ හෙට ලොව
මිණි මුතු වස්සන්නයි..........


සඳ රැස්  වෑහෙන...........





Sunday 3 June 2018

හදවත උදුරා ගත් වන බඹරා රහසේ මට කොඳුරයි

flower and bee සඳහා පින්තුර ප්‍රතිඵල





ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම්
හදවත උදුරා ගත් වන බඹරා රහසේ මට කොඳුරයි
ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම්
තව මල් වලටත් රහස් කියනවා
වන බඹරුන් ඔහොමයි


පිපුණ කුසුම බඹර පහස අයදිනවා
අනඟ බඹරු කුසුම අසල ගැවසෙනවා
බඹර පෙම් ගී වලට රැුවටී - යොවුන් කුසුම් පුදයි මධු මී
වන බඹරුන් සැමදා මලින් මලකට තුඩ දී
කස කුසු - කස කුසු - කස කුසු - කස කුසු


රොනට ඇදුණු සළෙල බඹරු ඉගිලෙනවා
කුසුම බිඳුණු සිහින අතර තනි වෙනවා
චපල මිහිලොල් නගත හසරැුල් - වගුල කඳුළැල් සදග වන මල්
මල දෙදරා පන ගලවා ගෙන ගිය වන බඹරුන්
කස කුසු - කස කුසු - කස කුසු - කස කුසු



ගායනය - විශාරද නන්දා මාලනි



සත්ත්ව සංහතියේ ආරම්භය කවදා කෙසේ වුව ද එදා මෙදා තුර සත්ත්වයාගේ පරම්පරාව පවත්වාගෙන ඒමේ ඒකීය සාධකය බවට පත් වූයේ ප‍්‍රජනන ක‍්‍රියාවලියයි. නමුත් වර්තමානය තුළ මෙකීී ජීව විද්‍යාත්මක ලක්ෂණය ක‍්‍රියාත්මක වන්නේ හුදු ආශ්වාදනයක් ලබා ගැනීම සඳහා පමණක් ම බව සමාජ සංසිද්ධීන් ඔස්සේ ගම්‍යමාන වනු ඇත. මේ වන විට ශිෂ්ට සම්පන්න මිනිසුන් අතර පමණක් නොව අශිෂට වු තිරිසනුන් අතරද ලිංගිකත්වයේ මුල්‍යය සාධකය රාගය වී හමාරය. වීනරාගී මුණිවරුන් හැර අන් කවර අයෙකු තුළ වුව ද ජනිත විය හැකි මෙය විටෙක ගින්නකි. මිනිසුන් තිරිසනුන්, චපලයන්, කාමාතුරයන්, වංචාකාරයින් බවට පත් කළ ලිංගිකත්වය වර්තමාන සමාජය උඩුයටිකුරු කරන සුප‍්‍රකට සාධකයක් ව හමාරය.

නන්දා මාලනියගේ හඬින් ගැයෙන ”හදවත උදුරාගත් වන බඹරා”  යන ගීය තුළ වර්තමාන මිනිසාගේ ලිංගිකත්වයේ ප‍්‍රබලතාව සුඵුට කරවයි. මෙහි එන ආකාරයට මුලින් ම එය කරලියට පැමිණෙන්නේ ආදරය සෙනෙහස නාමයෙන් ය.

හදවත උදුරා ගත් වන බඹරා රහසේ මට කොඳුරයි

යොවුන් විය, නව යොවුන්විය පමණක් නොව වැඩිහිටි පරපුර පවා වල්මත් කරවූ ආලය අන්දය. මුලදී ජීවිතය පුරාවට රකින්නට දෙන පොරොන්දුව බොරුවක්ව මුලාවක් බවට හරවන්නේ ලෙයට මසට පමණක් පෙම් බැඳීමෙන් ය. ලෙයට මසට පමණක් පෙම් බඳින්නා තුළ සැබෑ ආදරයක් හෝ ලෙන්ගතුකමක් නොමැත. ඒ නිසාම එක් මලකින් පහස ලද ඔවුන් අනෙක් මල් කරාද පියඹයි. නන්දා මාලියන්,

තව මල් වලටත් රහස් කියනවා
වන බඹරුන් ඔහොමයි       
යනුවෙන් පවසන්නේ එවැනි සල්ලාලයෙකුගේ ගතිගුණ හොඳාකාරව මේ යැයි පවසන්නාක් ලෙසින්ය.

මිනිසා ස්වභාවිකවම විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනය පතන්නේය. එය මිනිස් ශාරීරික මානසික අවශ්‍යයතාවකි. නමුත් එය සිදුවිය යුත්තේ සංස්කෘතිකමය සදාචාරාත්මක රාමුවේ සීමාවන්ට යටත්වය. එසේ නොමැති කළ එය අශිශ්ඨ අශ්ශීල කි‍්‍රයාවකි.මිනිසාගේ යථාර්ත ස්වභාවය

පිපුණු කුසුම බඹර පහස අයදිනවා
අනඟ බඹරු කුසුම අසල ගැවසෙනවා

 යන්නෙන් නිරූපණය වෙයි. බඹරකු නිසාවෙන් මලක පරාගනය සිදුවෙයි. එමගින් ඵල හටගනියි. මෙය නම් මිනිස් ජීවිතය අපූරුවට සංකේතවත් කළ අවස්ථාවකි. නමුත් මෙහි දැක්වෙන බඹරාට මෙන් මිනිසාට මලින් මලට යෑමේ අවස්ථාවක් නිදහසක් නොමැත. එය සම්ප‍්‍රදාය, ආගම ඛණ්ඩනය කිරීමකී. සමාජ තහංචියකි.

නව යොවුන් වියට එළඹෙන ස්තී‍්‍ර පුරුෂ දෙපාර්ශවයේ චින්තනයේ ඒක දේශයක් මින් විග‍්‍රහයට බඳුන් වෙයි. එමෙන් ම පුරුෂ පේ‍්‍රමයේ හා ස්තී‍්‍ර පේ‍්‍රමයේ පරස්පරතාවක් පවතින බවද ගෙනහැර පායි. යුවතිය පෙම් හැඟුම් මවන්නේ සරාගී සිතිවිලි සමඟ වුවද කායික තෘප්තියට එහා ගිය ලෝකයක් පිළිබඳ ඇය මනෝ මාළිගා තනයි. එහෙත් පුරුෂ මනෝ භාවය සරාගී සිතිවිලි තුළින් ආශක්තව කායික සුවය පමණක්ම විඳ ගැනීමේ ස්වභාවයෙන් යුතු බව කවියා රසික හදවත් තුළ ජනිත කරවයි.

තරුණයා  පේ‍්‍රම ගීතිකා ගයන්නට පෙළඹෙන්නේ තරුණිය පුරුෂ ස්පර්ශය අයදින විටයි. සුපුෂ්පිත කුසුම බඹරාට මධු මී පිරිනමන්නේ, දරුවන් පිළිසිඳ ගැනීම, දරුවන් වැදීම ආදී ක‍්‍රියාදාමයන් ගැනද සිතමින් වුවද හුදෙක් බඹරා මධු මී පහස විඳින්නේ එම අවස්ථාවේ සන්තර්පනයට මිස අනාගත කුටුම්බ ස්ථාපනයක් සඳහා නොවන බව කවියෙන් මතුවන්නේ, දෙපාර්ශවයම උපහාසයට බඳුන් කරමින්ය. ඒ,

බඹර පෙම් ගී වලට රැවටී - යොවුන් කුසුම් පුදයි මධු මී        යනුවෙනි.

පුරුෂයා ව්‍යාග‍්‍රයකු හා සම බව මානව විද්‍යාඥයින්ගේ මතයයි. ව්‍යාග‍්‍රයා ගොදුරක් ලබාගත් පසු එය තමාගේ ක්ෂුදාව නිමවනතුරු බුදියි. අනතුරුව මාස ගණනක් වුවද ඌ අහරක් නොමැතිව සිටීයි. සැබෑ පුරුෂ ස්වභාවය නම් මෙයම නොවන්නේ ද? ස්වභාව ධර්මතාව තුළ, ලෝකාස්වාද රතියෙන් රසවත් වුණු ස්ත‍්‍රීයට දරුවන් පිළිසිඳවා, වදා, හදා නිමවනතුරු විවිධ දුක්ගැහැට වලට මුහුණ දීමට අවස්ථාව සැලසෙන අතර, පුරුෂයා ස්වභාව ධර්මය තුළ නිදහස්කාමී ස්වරූපයක් උසුලයි.

ගුම් ගුම් යන පදය පුනරුච්ඡුාරණය බඹර හඬම නොව යෞවනයින්ගේ අධ්‍යාත්මයේ බුර බුරා නැගෙන සරාගයේ පොපියන නිහඬතාවය මතුකරයි.බඹරා සහ මල සංකේතාර්ථයන් ය.සමස්ථ ස්ත‍්‍රී රූපය පුරුෂයාගේ කාම ගින්න නිවන උපකරණයක් හා සම බව පුරුෂ සමාජයක් සිතන අතර ස්ත‍්‍රීය සොබා දහමේ නිමයන්ට යටත්ව සිටිය යුතු බැවින් ගීතය තුළ මතුවන කථන යුවතියගේ අනුවේදනීය කනස්සල්ල හා පසුතැවිල්ල ගීතයෙන් ජනිත වෙයි.

පැරණි සමාජ රාමුව තුළ, සාපේක්ෂව මෙම කරුණ යහපත් යැයි විටෙක හැෙඟ්. මන්ද, ආදරය පේ‍්‍රමය වෙනුවෙන් පරිත්‍යාගයන් කළ මිනිසුන් සිටි බැවිනි. එහෙක් වත්මන් සමාජයේ ඍජු ලෙසම අයදින්නේ පේ‍්‍රමය නොව ලිංගිකත්වයයි.

රොන් ගත් බඹරා යළි මල දෙස නොබලයි. නොබලන්නේ පමණක් ම නොව ඔවුන් තමන්ගෙන් අසාධාරණයට ලක් වූ කාන්තාවන් දෙස උපහායෙන් යුතුව බැලූම් හෙලන්නේ තමන්ගේ කූඨ උපක‍්‍රමයන්ට ඔවුන් හසු වූවා යැයි ඔවුන්ට දැනවීමට මෙන්ය. එය

චපල මිහිලොල් නගත හසරැුල්”   යන්න තුළින් මෙන්ම ”මල දෙදරා පන ගලවා ගෙන ගිය වන බඹරුන්”    යනුවෙන් ප‍්‍රතිභා පූර්ණව ඉදිරිපත්කොට තිබෙයි.

ගීත නිර්මාණය තුළ බඹරා හා මල යනුවෙන් රූපකාර්ථ නංවන්නේ  තරුණ තරුණියන්ය. රස පහසේ මිරිකුණු මල සිහින අතර අතරමංව නොදුටු ලෝකයක් පිළිබඳ සිතමින් කඳුලූ වගුරද්දී බඹරා නැවත නැවුම් මලකට ආකර්ෂණය වන්නේ නිදහස් කාමීයෙකු ලෙසින්ය. සමාජ යථාර්තය නිරූපනයට නිර්මාණකරු ගත් උත්සාහය සාර්ථක බව මින් ගම්‍යමාන වෙයි. මෙවැනි බඹරුන් හේතුකොටගෙන අකලට පෙති සිඳී පරවුණු මල් කෙතරම් නම් සමාජය තුළ මැරී මැරී ජීවත්වනවා ඇත්ද ? කායික අවශ්‍යයතාවන් සංතර්පනය වෙනුවෙන් බිලිගත් ජීවිත විනාශ කරගත් පවුල් ප‍්‍රමාණය ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිවන අයුරක් දක්නට ලැබෙයි. එක් කාන්තාවක් එක් පුරුෂයෙකු හා බැඳි පෞද්ගලිකත්වය කාන්තාවන් කිහිපයකට පිරිමින් කිහිපයකට පොදු වීම තුළ එකී කාරණය සංකීර්ණත්වයට එළඹෙයි. වන මල් තුළින් සංකේතවත් වන්නේ එහි ප‍්‍රතිඵලයයි. මොහොතක සංතර්පණය දිගුකල් කඳුලක ගමනාන්තයට කෙටිම වු උමං මාර්ගයකි.
යථාර්ත සමාජයේ දක්නට ලැබෙන, සිය හද තුළ ජනිත යොවුන් පෙම පෙම්වතා තමාගෙන් රසවිඳ තෘප්ත වී හැරගිය බැවින් තැවෙනා යුවතියකගේ  ලසෝ ගිනි

වගුල කඳුලැල් සදග වන මල් ”           යන්නෙන් අපූරුවට සිත්තම් වේ.


තපසුන්ගේ දැහැන් බිඳ ලූ රජවරුන්ගේ රජ සැපද අතැර දැමීමට පෙළඹ වු මෙය දහමින් ලද ශික්ෂණයෙන් තාවකාලිකව යටපත් කළ ද දිය යට ඔබා ලූ රබර් බෝලයක් සේ අවස්ථාව ලද සැනෙකින් නොපමාව මතුපිටට පැමිණෙන්නේ නිරායාසයෙනි.