Thursday 21 June 2018

භාෂාවේ ප‍්‍රභවය


භාෂාවේ ප‍්‍රභවය පිළිබඳව වාග් විද්‍යාඥයින්, දාර්ශනිකයින්, ආගමික කර්තෘවරුන් හා පූජකවරුන් මෙන් ම බලවත් රජවරු ද විවිධ මතවාදයන් ඉදිරිපත් කර තිබේ. ක‍්‍රි. පූ. 7 වෙනි සියවසේ ඊජීප්තුවේ විසූ සැම්මේටිකොස් නම් රජු ලෝකයේ පැරණිම ජනතාවත්, පැණිම භාෂාවත් සෙවීම පිණිස පර්යේෂණ පැවැත්වූ ආකාරය හෙරඩෝටස් විසින් දක්වයි. එමෙන් ම දෙවන ෆෙඞ්රික් අධිරාජ්‍යයා ද, හතරවැනි ජේම්ස් රජු ද, ඉන්දියාවේ මහා අක්බාර් රජු ද, භාෂාවේ ප‍්‍රභවය සෙවීමට උත්සහා කළ බව සඳහන් වේ. භාෂාවේ ප‍්‍රභවය පිළිබඳව ගී‍්‍රක දාර්ශනිකයින් හා චින්තකයන් වූ ඇරිස්ටෝටල්, ප්ලේටෝ එපිකියුරියස් ආදීන් මතවාද ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව දාහත්වන සහ දහ අටවන සියවස් වල වාග් විද්‍යාඥයින් හා වත්මන් ශාස්ත‍්‍රාඥයින් ද මේ පිළිබඳව අධ්‍යයනයන් සිදු කරන ආකාරය හඳුනාගත හැකිය.

ඒ අනුව භාෂාවේ ප‍්‍රභවය පිළිබඳව ඉදිරිපත්ව ඇති මත සියල්ල ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
1. නිර්මාණවාදී මත
2. පරිණාමවාදී මත
ආගමික මතවාදයන්ට අනුව භාෂාව දෙවියන් වහන්සේගේ නිර්මාණයකි. ක‍්‍රිස්තු ධර්මයට අනුව දෙවියන් වහන්සේ ලෝකය මවා එහි ¥විල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුට ජීව වායුව පිඹ කතාකරන්නට සැලැස්වූ ආකාරය සඳහන් වේ.

”උන්වහන්සේ මැවූ ජීව අජීව වස්තූන් මිනිසාට පෙන්වා ඒවා නම් කරන ලෙසට ඔහුට අණ කළහ. මිනිසා තමා කැමති වචන යොදා ඒවා හැඳින්වීය. එදා මිනිසා විසින් ප‍්‍රකාශ කරන ලද වචන ඒ ඒ ද්‍රව්‍ය වල හා සත්ව වර්ගයාගේ නම් වශයෙන් සම්මත විය.”
                                 - ශුද්ධවූ බයිබලය - 

හින්දු භක්තිකයන්ට අනුව ලෝකයා සහ එහි ඇති දෑ මවන ලද්දේ මහා බ‍්‍රහ්මයා විසිනි. සංස්කෘත භාෂාව දෛවී භාෂාව හෙවත් දේව භාෂාව ලෙස ව්‍යවහාර කෙරෙන්නේ එහෙයිනි. මෙවැනි මතවාද හැම ආගමකම පාහේ දක්නට ලැබේ.
භාෂාව එකවර හදිසියේ නිර්මාණය කරන ලද්දක් නොව එය ක‍්‍රමයෙන් මනුෂ්‍යයාගේ පරිණාමයත් සමඟ ඇති වූවක් බව පරිණාමවාදී මත ඉදිරිපත් කරන්නන් දක්වයි. මැක්ස් මුලර් පඬිවරයා ඒවා ප‍්‍රධාන මත හතරක් යටතේ ඉදිරිපත් කරයි.
1. බව් බව් න්‍යාය
2. ඩිං ඩොං න්‍යාය
3. පුහ් පුහ් න්‍යාය
4. යේ හෝ හෝ න්‍යාය
ලෙසිනි.

කෙසේ නමුත් ශබ්දය යනු භාෂාවේ බාහිර අංගයක් පමණි. භාෂාවේ ප‍්‍රභවය උදෙසා පළමුව සිදුවිය යුත්තේ අදහස් නිපදවීමයි. ඉන් පසු අදහස් ප‍්‍රකාශ කිරීමට ක‍්‍රමවේදයක් තිබිය යුතුය.
මිනිසා තුළ ඇති වූ හැඟීම් හෝ අදහස් එකතුකර සම්පූර්ණ අදහසක් ප‍්‍රකාශ කිරීමේ ශක්තිය යම් දිනෙක මිනිසාට ලැබුනේ ද , එදින භාෂාවේ ප‍්‍රභවය සිදු විය.

එය මානව පරිණාමයත් සමඟ සිදු වූවකි. නෘත, නෘත්‍ය හා නාට්‍ය යන විවිධ අංගයන් ගොඩනගා ගනිමින් සිදු වූ මානව පරිණාමනයේ සුවිශේෂ කඩයිමක් ලෙස නියෙන්ඩතාල් මානව අවධිය දැක්විය හැකිය. ඔවුන්ගේ අතින් රූප භාෂාව බිහි විය. ඔවුන් එදිනෙදා ජීවිතයේ දී සතුන් සමඟ ඇතිකරගත් සටන්, දඩයම් ආදිය සත්ත්ව රුධිරයෙන් ම සටහන් කර තැබීමට ඔවුන් උත්සහා දැරීය. ඉන්පසු ඔවුන් එය යම්කිසි අදහසක් ප‍්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන්නට විය. මුල් අවධියේ මෙම රූප, රේඛා සටහන් පමණක් ම විය. දිඹුලාගල, තන්තිරිමලේ, ගොනාගොල්ල ආදී ලෙන් චිත‍්‍ර ඒවාට නිදසුන් සපයයි. මෙහි වර්ධනීය අවස්ථාවක් ලෙස ප‍්‍රංශයේ ලැස්කෝ සහ ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහා චිත‍්‍ර දැක්විය හැකිය. ස්පාඤ්ඤයේ ඇල්ටාමීරා ගුහාවේ දක්නට ලැබෙන කකුල් අටක් සහිත බයිසන් ගවයාගේ රූපය සජීවී රූප නිර්මාණයට ගත් උත්සාහයක් ලෙස  හඳුනාගත හැකිය. මෙම රූප භාෂාව ක‍්‍රමික විකාශනයට ලක්ව දියුණු භාෂාවක් හා අක්ෂර ගොඩනැගෙන්නට ඇත. 
මෙලෙස ගලේ, මඬේ, ගස් පොත්තේ, මැටියේ හෝ සම්වල රූප සටහන් ඇඳීමට මිනිසා පුරුදුව සිටියේ අනාදිමත් කාලයක සිටය. ඇඳීම, පාට කිරීම, කටු සටහන් ගැසීම හා කෙටීම වැනි ක‍්‍රමෝපායන් මෙහිදී භාවිතා කෙරුණි. 
උතුරු ඇමෙරිකාවේ රතු ඉන්දියානු ගෝත‍්‍රිකයින් කතාන්දර කීමට හා සිද්ධි විස්තර කිරීමට ගස්වල පොතු මත කෙටූ රූපසටහන් භාවිත කළ බවට සාධක තිබේ. වත්මන් දියුණු රටවල් කතාන්දර කීම සඳහා විකට චිත‍්‍ර අඳින්නා සේ ඔවුන් කතාන්දර දැක්වීම සඳහා බීච් ගසේ පොතුවල කෙටූ චිත‍්‍ර මාලා භාවිතා කරයි. එමෙන් ම වර්තමානයේ ගෝත‍්‍රික රතු ඉන්දියානුවන් භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා චිත‍්‍ර භාවිතා කරයි. එයට හොඳම උදාහරණයක් ලෙස තුවක්කුවක් සහ පතොරම් කරල් දහයක් වෙනුවට මී හරක් හම් පහක් දීමට කැමති බව කඩදාසියක හෝ බිම අඳින ලද කොටුවක එක් කෙළවරක තුවක්කුවක් සහ පතොරම් කරල් ද අනෙක් පස මී හරකෙකුගේ රූප සටහනක් හා ඉරි කැබලි පහක් ද ඇඳ ඒ මැඳ හරස් අතට ඉරි දෙකක් ලකුණු කිරීම දැක්විය හැකිය. මෙය කදිම රූප භාෂාවකී. ආදී මිනිසා සම්පූර්ණ සිද්ධියක් විස්තර කිරීමට හෝ අදහස් රැුසක් දැක්වීමට සම්පූර්ණ චිත‍්‍ර හෝ චිත‍්‍ර මාලාවක් ඇන්දා සේම තනි අදහසක් දැක්වීමට තනි තනි චිත‍්‍ර ඇඳි බව පෙනේ. මිනිසෙක් යන අදහස දීම සඳහා මිනිසාගේ රූප සටහනක් ද, ගස  යන රූප සටහන දීම සඳහා ගසක රූප සටහනක් අඳින්නා සේම විවිධ වස්තූන් දැක්වීම සඳහා එහි රූප සටහනක් ඇඳ ඇත. මිනිසා ඇවිදී යන අදහස දැක්වීම සඳහා දෙපා මාරු කිරීම දක්වන රූප සටහනක් ඇදීය.




  • හොඳ යන වචනය දැක්වීම සඳහා ස්ත‍්‍රියකගේ හා ළමයෙකුගේ රූප දෙකක් එකට ඇඳ තිබේ.
  • දුක යන වචනය දැක්වීම සඳහා ඇසක් හා එයට පහළින් කඳුළු බිංදු දැක්වෙන තිත් පෙළක් ඇඳ තිබේ.
  • පැරණි මිසරවරුන් ලක්ෂය හා ඊට වැඩි සංඛ්‍යාවක් දැක්වීම සඳහා යෙදුවේ ඉස්ගෙඩියෙකුගේ රූපයකි. ඉස්ගෙඩියන් එකවර ලක්ෂ ගණනක් බෝවන නිසා එම රූපය යොදා ගෙන ඇත.  

මේ ආකාරයෙන් අදහස් ප‍්‍රකාශනයෙහි ලා එකල මිනිසුන් විවිධාකාර ක‍්‍රම අනුගමනය කර තිබෙන ආකාරය හඳුනාගත හැකිය. 
   

1 comment: